Saturday, March 4, 2017

ඇමති බූරුවන් සහ බූරු ඇමතියන්

 
එකමත් එක  රටක සිටි රජෙකුට දිනක්  දඩයමේ යන්නට සිතුනේය. මේ රට කුමක්දැයි අප දන්නේ නැත. එය එකෝමත් එක රටකි. රජතුමා වරුන් අප මෙන් හිතු මනාපෙට දඩයමේ යන්නේ නැත. එතුමා තම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලොක්කා කැඳවා ඉදිරි කාලගුණ තත්ත්වය ගැන  විමසුවේය.

කාලගුණ ලොක්කා ද තම සගයන් සමග සියලු දත්ත, ඓතිහාසික වාර්තා ,පරික්ෂා කර බලා ඉදිරි  දින  ගණනාවකටම  කිසිදු  වැස්සක් නොවැටෙන බවට  සහතික විය.

ඉතින් අපේ රජතුමාණන් ද තම බිරිඳ නොහොත් බිසව ත් තව මහ පිරිවරක් සමග දඩයමේ ගියේ  තවත් කොහේදෝ රටක හිටි රජ කෙනෙක් එක්සත් ජාතින්ගේ සමුලුවට බිසවත් බිසවගේ මල්ලිත්, පුත් කුමාරවරුත් , ආවතේව කාරයිනුත් ඇතුලු හැට හුට හමාරක් සමග ගිය ආකාරයටමය.

රජ සහ පිරිස මෙහෙම යනකොට යනකොට අතරමග මගදී බූරුවෙක් පිටේ දර තොගයක් පටවා ගෙන හනි හනික යන ගොවියෙක් හමු වුනේය.

දඩ කෙලියේ යන . රජු දුටු ගොවි තෙමේ තිස්ස තිස්ස නවතින්න .. "රජතුමනි, ඔබ වහාම මාලිගය කරා ඉක්මණින්  වඩිනු මැනවි,තව ටික වෙලාවකින් මහ වැස්සක් කඩන් වැටෙනු ඇත" කීවේය. නමුත් කවදත් වූ පරිදි ගොවියන්  කියන දෙය රජවරු අහන්නේ නැත. ඒ ආකරයෙන්ම අපේ  රජතුමා ආඩම්බරයෙන් " මගේ කාලගුණ ලොක්කාටත් වැඩිය උඹ දන්නේ කොහොමද? නිකම් පලයන් හිස් ගැසුම් නොකා " කියා දිගටම තම ගමනේ යෙදුනේය.

අහෝ ඛේදයකි. වැඩි වෙලාවක් යන්නට කලින් දෙල් දොදොල් වෙන මහ වැස්සක් කඩා වැටී රජ  සහ බිසව සහ බිසවගේ මල්ලි සහ කුමාරවරුන් සහ සිය පිරිවර සියළු දෙනාම තෙමිච්ච කුකුලන් සේ දියබත්  වී ආපසු මාලිගයට වැඩම කලහ.

කෝපාවිෂ්ඨ, රජ මාලිගාවට පැමිණ වහාම කාලගුණයා රස්සාවෙන් එලවා දැම්මේය. කාලගුණයාද ඇති යන්තන් හිස් ගැසුම් නොකා බේරුනා යි සිතමින් දිරා මාරු විය.

තම ඇඟ පත තුවායකින් පිසදා ගන්නා ගමන් රජ තෙමේ පණිවිඩයක් යවා කාලගුණ කාර ගොවියා මාලිගාවට කැඳවා ඔහුට තම ප්‍රධාන කාලගුණ විද්‍යාඥ තනතුර ද දී විශාල වැ‍ටුපක් ද දුන්නේය.


එහෙත් අඳෝමැයි. එම ගොවි මහතා "රජතුමනි, මම කාලගුණය  ගැන කිසිම දෙයක් දන්නේ නෑ මම මගේ  බූරුවා දිහා බලලා තමා  ඔබතුමාට වහින බව කිව්වේ. වැස්සක් එනවා නම් උගේ කන් දෙක කෙලින් වෙනවා.  ඒ නිසා මට මේ තනතුර එපා.. ඒක මට හරියන්නේ නැතැයි " කියා කීවේ රජ ගොල්ලන් ආශ්‍රය ඇඟට ගුණදායක් නොවන බව දන්නා නිසාය.

ඒකත් එහෙමද කී රජතුමා ගොවියාගේ බූරුවාට තම කාලගුණ විද්‍යාඥ තනතුර පමණක් නොව කාලගුණය බාර ඇමති කම ද  ලබා දී යහමින් සෙමෙන් වැජඹුනේ යැයි ඉතිහාස කතාවේ කියවේ.

 ඉතින් එදා සිට අද දක්වා ඒ රටේ ඇමති කම් කරන්නේ බූරුවන්ය.

2 comments:

  1. එහෙම වුණායැයි කියලා,
    සිරිලංකාවේ එහෙම වෙන්නෙ නෑ...බොලං ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...

    ReplyDelete