Wednesday, June 28, 2017

මැක්කෙක් ගිය උඩ



සයිටම්වලට එරෙහි වර්ජන නතර
කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ගන්න

සයිටම් සභාපති ජනපතිට දැනුම් දෙයි

 සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය සම්බන්ධ කරගෙන සිදු කරන වැඩවර්ජනය නතර කිරීම සඳහා කිසියම් විකල්ප ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාර්ගයෙන් ඊයේ දැනුම්දීමක්‌ කළ බව සයිටම් සභාපති දොස්‌-තර නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙවැනි වැඩවර්ජන නතර කිරීමට ඕනෑම ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට හැකි බවද සයිටම් වෙනුවෙන් වැඩ වර්ජනයන් දියත් කර මහජනතාව අසීරු තත්ත්වයකට පත් කිරීමට රජය කිසිසේත් ඉඩ නොදෙන බව තමාගේ විශ්වාසයෑයිද දොස්‌--ත නෙවිල් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා සමඟ සයිටම් පිළිබඳව කතාබහ කිරීමට සුදානම් වී සිටි නමුත් ඊයේ අධික කාර්යබහුල දිනයක්‌ වූ නිසා ඒ වෙනුවට එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා සමඟ මේ පිළිබඳව කරුණු සාකච්ඡා කළ බව දොස්‌-තර නෙවිල් ප්‍රනාන්දු මහතා කීය.

උපුටනය- දිවයින

Friday, June 23, 2017

සයිටම් අහෝසි කරනු- අවසන් සටන ඇරඹේ....









       නෙවිල් ප්‍රනාන්දු තක්කඩියාගේ කාසි මල්ලට යට වූ ජඩ යහපාලන ආණ්ඩුව විසින් සිය පොලිස් කුලී බැලයින් ලවා සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරයත්  සමග සයිටම් විරෝධී අරගලය තීව්‍ර වී ඉදිරියට ඇදෙමින්  තිබේ. මෙම අධම ප්‍රහාරයට එරෙහිව හා සයිටම් ප්‍රශ්නය විසඳීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද ආරම්භ කළ සංකේත වර්ජනය , විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියටම ගෙන යාම ට තීරණය කර තිබේ. මෙය මාරාන්තික සටනකි. එක්කෝ ජයෙන් නිමා විය යුතුය. නැත්නම් නිදහස් අධ්‍යාපනය ඇතුලු මෙරට ජනතාවගේ සියලු අයිතිවාසිකම් මෛත්‍රී-රනිල්- රාජිත -කිරිඇල්ල නඩයේ පාමුල තබා පරාජය බාර ගත යුතුය.

එකක් පැහැදිලිය.  GMOA එකට හෝ ශිෂ්‍යයින්ට පමණක් මෙම සටන ජය ගැනීම අසීරු වෙනු ඇත. එම නිසා සියලු ප්‍රගතිශීලි බලවේග මේ අවස්ථාවේ ඔවුන් වටා එක් වී රාජිත නඩයේ අමන කම් වලට මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලබා දිය යුතුය. එසේම  පීඩනය නිසා හෝ වෙනත් හේතුන් නිසා මෙම සටනින් පසු බසින්නට තැත් කලොත් එයට ඉඩ නොදී ඔවුන් සටනේ රඳවා තබා ගත යුතුය. 

මේ සඳහා සියලු වෘත්තිය සමිති එක්ව මහා වැඩ වර්ජනයක් වහාම කැඳවා සයිටම් අහෝසි කරන ලෙසත් , නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරකින ලෙසත් ඊනියා යහපාලක රජයට බල කල යුතුය. තම තමන්ගේ පෞද්ගලික හා දේශපාලනික වෙනස් කම් පසෙක තබා සියලු ප්‍රගති ශීලි බලවේග මෙම තක්කඩි රජයට එරෙහිව පෙල ගැසිය යුතුය.

දැනටමත් ආණ්ඩුවේ මැර හා කුලී බලවේග අරගලයට එරෙහිව සටනට බැස ඇත. දැනටමත්  රජයේ කුලී ලියන්නන් වන ගාමිණි වියන්ගොඩ ,අජිත් පැරකුම්, මාතලන් ඇතුලු කුලී ලියන්නන් /බ්ලොග් /ෆේස් බුක් කල්ලිය සිසුන්ට හා වර්ජකයින්ට  එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරමින් සිටී. හෙට මෙය වඩාත් උත්සන්න වනු ඇත. එය අවසානයේ ශාරීරික ප්‍රහාරයන් දක්වා , අත් අඩංගුවට ගැනීම් දක්වා හා අවසානයේ අතුරුදහන් කිරීම් දක්වා ගෙන යනු ඇත. විශේෂයෙන් වර්ජක වෛද්‍යවරුන්ට රාජිතගේ මැරයින්  දරුණු ලෙස පහර දෙනු ඇත. එයට අවශ්‍ය පසුබිම අද දිනම රාජිත සූදානම් කලේ කුපිත වූ  ජනතාව විසින් වෛද්‍යවරුන්ට පහර දෙනු ඇතැයි කියාය. එයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම වහ වහා කල යුතුය. මෙම සටන පොදු මහ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ දුවා දරුවන් වෙනුවෙන් කරන සටනක් බව තේරුම් කර දිය යුතුය. ඔවුනුත් මෙම සටනට එක් කර ගත යුතුය. නො එසේව හුදකලාව මෙම සටන ජය ගැනීම අසීරු හෝ සමහර විට නොහැකි කටයුත්තකි.'

එම නිසා

1. අරගලය පිලිබඳව පොදු ජනතාව දැනුවත් කල යුතුය.

2. සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය.

3. අනෙකුත් සියලු වාමංශික ,ප්‍රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.

සටහන- යහපාලන  නඩයේ රුපියල් බිලියන ගණනක බැඳුම්කර වංචාව ගැන මුක පූට්‍ටු වී සිටි අජිත් පැරකුම්, මාතලන්, වියන්ගොඩ නඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඩුණු වීදුරු ගැන කුඹුල් කඳුලු හෙලීම විස්තර කළ හැක්කේ කෙසේද?                                     ..



Tuesday, June 6, 2017

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්

 
 
ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය සමාජය තුළ පතුරන ව්‍යාපෘතියක නිරත වී සිටියි. ඔහුගේ මෙම වෛරී සහගත අවලාදත්මක ලියැවිලි ඔහු හැඟීම්වලට යටත්ව ලියන්නක් යැයි කිසිවෙකු විසින් වරදවා වටහාගත යුතු නැත. ඔහුගේ සයිටම් ජපමාලයේ ඔහු විසින් අමුණන ලද සියළු ඇටබෝල වනාහි දැනුවත් දේශපාලන ගණනය කිරීමකින් යුතුව නිශ්චිත ප්‍රතිඵල අපේක්ෂා කරමින් අමුණන ලද ඒවාය.

පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සිදුවන අක්‍රමිකතා සහ සමස්තයක් ලෙස එහි ලා සිදුවන සූරා කෑම සම්බන්ධයෙන් සමාජයේ ඇති විරෝධය ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පහර දීමට යොදා ගනී. ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මේ අයුරින් පහර දෙන්නේ ඔවුන් සයිටම් ආයතනයට එරෙහි අරගලයේ කොටස් කරුවන් වී ඇති බැවිනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සාධාරණීකරණය සඳහා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සූරාකෑමට එරෙහි සමාජ මතවාදය ගසා කෑමට තරම් වියන්ගොඩ ඇතුළු සයිටම් ප්‍රේමීන් සූක්ෂමය. වියන්ගොඩගේ සයිටම් ජපමාලයේ අඛණ්ඩ ප්‍රහාරයට ලක්වන තවත් කොටසක් නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි සිසු පරපුරයි. එහි අරමුණ සමස්තයක් ලෙස සිසුනට එරෙහිව සමාජයේ පවතින සියළු අගතිගාමී මතවාද උළුප්පා දක්වමින් එමගින් සයිටම් ආයතනයට සහ අධ්‍යාපනය පුද්ගලිකරණයට එරෙහිව ඔවුන් ගෙන යන අරගලය සමාජය හමුවේ පිරිහෙළීමය. 
 
සයිටම් වලට එරෙහිව සිටින අතළොස්සක් හෝ වාමාංශිකයන් වෙත් නම් ඔවුහුද වියන්ගොඩගේ සයිටම් ජපමාලය තුළ නිරතුරුව "මොන්ටිසෝරි සමාජවාදීන්" ඈ වශයෙන් නින්දාවට ලක්වෙති. ඔහු මේ "මොන්ටිසෝරී සමාජවාදීන්" යැයි ගරහන්නේ රාජිත සේනාරත්න ගේ හෝ සයිටම් නෙවිල්ගේ සාක්කුවේ සිට සයිටම් වර්ණනයේ යෙදෙන වාමාංශික තක්කඩියන් රැළට නොවේ. තමන් "මොන්ටිසෝරි සමාජවාදීන්" නොව නූතන ලෝකයේ නව ආර්ථික දේශපාලන සහ සමාජීය විපර්යාසයන් පිළිබඳ මනා අවබෝධයක් සහිත "හයිස්කූල් සමාජවාදීන්" යැයි සමාජයේ හමුවේ පෙනීසිටීමට කැමැති සමාජවාදී වෙස්මුහුණු ලාගත් අවස්ථාවාදීහු වියන්ගොඩලාගේ මේ මාංශ පේශි සංදර්ශනයට බියව සයිටම්වාදය හා සන්ධානගතවෙමින් අධ්‍යාපනය පුද්ගලිකරණයේ වාසි ගැන තමන්ට ද නොතේරෙන බහුබුත දොඩවති. ඔවුහු සමාජවාදීන් හෝ වාමාංශිකයන් ලෙස මෙතෙක් පැළැඳ සිටි වෙස්මුහුණු ඉවත ලා සිය සැබෑ මුහුණ පෙන්වීම ගැන අප ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුය. ආර්ථික වශයෙන් සමාජයේ පත්ළේම සිටින සමාජ ස්ථරයක දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම "මොන්ටිසෝරි සමාජවාදීන්" යන නම්බු නාමය ලැබීමට සුදුසු කමක් නම් අපට කීමට ඇත්තේ "ඔව් අපි මොන්ටිසෝරි සමාජවාදීන් තමයි. ඉන් තොපට කිමැ"යි යනුවෙනි. (දේශපාලන තර්ක විතර්ක පසෙක තිබේවා. මේ හැම දේකින්ම පසුවත් මොන්ටිසෝරිය තරම් සුන්දර තැනක් අපට ජිවිතයේ යළිත් කෙදිනක හෝ හමුවනු ඇත්ද? අප මේ හංවඩුවට බිය විය යුතුද?) 
 
එමෙන් ම සරසවි පිවිසුම් පෙළ සමත් සමස්ත සිසුන්ට අවස්ථාවක් උදාකළ හැකි වැඩ පිළිවෙළකට නොයා ඒවෙනුවට තෝරාගත් වරප්‍රසාදලාභි අතළොස්සක් වෙනුවෙන් පැළැස්තර විසඳුම් සැපයීමට එරෙහිවීම නිසා හෝ වසරක් පාසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසු කම් ලැබ කිසිදු සමාජ සුරක්ෂිතභාවයක් නොමැතිව මහපාරට ඇදවැටෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ උසස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා හෝ 'වාමාංශික කුහකයන්' ලෙස කෙරෙන නම් අඬගැසීම්වලට ද කිසිවෙකු බියවිය යුතුද? සමාජයේ විවිධ පන්ති ස්ථරයන් ස්වකීය සාමූහික ආර්ථික සහ දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරන විට එම ඉල්ලීම් වල පන්තිමය අභිලාෂයන් විශ්ලේෂණය හෝ අධ්‍යයනය කිරීම මගහැර හුදෙක් ඒවා විස්තර කරනු වස් සාමාන්‍ය ව්‍යවහාරයේදී පුද්ගල මනෝභාවයන් විස්තර කිරීමට යොදාගනු ලබන 'කුහකබව' වැනි අදේශපාලනික සංකල්ප යොදාගැනීමට ඇතැමුන් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ සමාජය හමුවේ මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නවුන්ගේ දාර්ශනික සහ බුද්ධිමය දිළිඳු කමයි. ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිතවලට බලපාන ආර්ථික හෝ දේශපාලන ඉල්ලීම් ඔවුන් සංවිධිතව ඉදිරිපත් කරන විට ඒවා 'කුහක' යැයි පැවසිය හැක්කේ දේශපාලනයේ අයන්න ආයන්නවත් නොදත් දාර්ශනික කෙළතොල්ලන්ට පමණි.
 
ඔහු රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයේ අක්‍රමිකතා, විෂමතා, සම්පත් හිඟය අඩු ඵලදායිතාව සහ අසාධාරණකම් හුවා දක්වන්නේ එමගින් සයිටම් ආයතන වැනි පුද්ගලික අධ්‍යාපන කඩ බිහි කිරීම සාධාරණීකරණය සඳහාය. ඔහු මෙම තත්ත්වයට වගකිව යුතු පැවැති ශ්‍රිලනිප එජාප හෝ හවුල් ආණ්ඩුවල අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන් ම සමස්ත සංවර්ධන සැලසුම් පිළිබඳව සිය ලියවිල්ල තුළ දක්වා ඇත්තේ සානුකම්පිත සහ ක්ෂමාලාපී ආකල්පයකි. නමුත් මේ සානුකම්පිත ආකල්පය එම අධ්‍යාපන හෝ සංවර්ධන සැලසුම්වල ගොදුරක් බවට පත් දුප්පත් සිසු පරපුර කෙරෙහි නොදැක්වේ. ඒ වෙනුවට ඔවුන්ට එරෙහි කාලකණ්නි සහගත අවමන් ඔහුගේ සයිටම් ජපමාලය පුරාම අමුණා තිබේ. එයට හේතුවක් තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ පෙරමුණ ගෙන සිටින්නේ ශිෂ්‍ය පරපුර වීමයි. මේ සිසු පරපුර මුග්ධ, සිය මොළ පහසුවෙන් සේදීමට ඕනෑම අයෙකුට ඉඩ දෙන, අමනයන් රැසක් සේ සමාජය හමුවේ චිත්‍රණය කිරීමයි. එමගින් ඔවුන්ගේ සයිටම් විරෝධී අරගලය බහු ජනතාව වෙත ගෙනයාමට දුෂ්කර තත්ත්වයක් නිර්මාණය කිරීම එය හුදෙකලා කොට විනාශ කිරීමට පහසු තත්තවයක් රජය වෙනුවෙන් නිර්මාණය කිරීමයි.
 
වියන්ගොඩ මේ වන විට සයිටම් විරෝධීන්ට එරෙහිව සිටින්නේ මතවාදී අරගලයක පමණක් නොවේ. ඔහු සයිටම් විරෝධීන් මර්දනය සඳහා රාජ්‍යයට පහසුකාරකම් සපයන්නෙකු බවටත් පත් ව තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ නිරතව සිටින වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය පාදෙණියට එරෙහිව උසාවියට අපහාස කරන ලදැයි නඩු පැවරීම මගිනි. මෙවැනි නඩු පැවරීමක අරමුණ කුමක් ද? හුදෙක් උසාවියේ "කීර්ති නාමය" ආරක්ෂා කිරීමේ "පුරවැසි වගකීම" ඉටු කිරීම ද? පුරවැසි බලය නම් සංවිධානයක් ඔවුන් විසින් අටවාගෙන ඇත්තේ රාජ්‍ය මර්දන ආයතනවලින් සිදුවන පුරවැසි අයිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කටයුතු කිරීමට ද? නැතහොත් පුරවැසියන් විසින් කරන ලබන ප්‍රකාශවලින් ඉහත ආයතනවලට "අපහාස සිදුවේ"යි පවසමින් එකී ප්‍රකාශකයන් හිරේ විලංගුවේ දමනු වස් නඩු පැවරීමට ද? 
 
කෙසේ වුව ද ලංකාවේ අධිකරණයේ "කීර්ති නාමය" ගැන, වියන්ගොඩට දැන් අමතකව ඇති අපමණ උදාහරණ සැපයිය හැකි මුත් මේ ඊට අවස්ථාව නොවේ. වියන්ගොඩ ඔහුගේ පුරවැසි බලයේ තවත් සයිටම්කාමීයෙකු වන සරත් විජේසූරිය සමග එක්ව පසුගිය මැයි 04 වෙනිදා පවරන ලද නඩුව වූකලී වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බිය ගන්වා, පීඩනයට පත්කර ඔවුන් සයිටම් විරෝධී අරගලයෙන් ඉවත් කිරීමේ අරමුණ ඉටු කරගැනීම සඳහා සයිටම් කාමීන් විසින් සැලසුම් කර ඇති බොහෝ ක්‍රියාමාර්ග අතරින් තවත් එකක් පමණි. තවත් එක් හාස්‍ය ජනක උදාහරණයක් නම් රන්ජන් රාමනායක නැමැති "ලෝකල් රම්බෝ" නළුවා යොදාගෙන පාදෙණියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ලියාපදිංචි කරමින් රඟ දක්වන ලද අමන රංගනයයි.
 
මෙම අරගලය මර්දනය කිරීමට සැලසුම් කරන්නන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇත්තේ එය එම සටනේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු යෞවන ශිෂ්‍ය ව්‍යාපාරයට දෙන ශක්තිමත් සහයෝගය සහ රැකවරණය හේතුවෙනි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි නඩු පටැලවීම්, අවලාද ව්‍යාපාර, බ්ලැක්මේල් ආදිය මගින් බියපත් කර හෝ එහි වැනෙන සුළු කොටස් වෙත වරදාන පුදා හෝ මෙම අරගලයෙන් ඉවත්කීරීමට ගෙන යන උත්සාහය සාර්ථක වුවහොත් එමගින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය බලවේගය මුළුමණින්ම හුදෙකලා කොට මුල්ලකට කොටු කර මර්දනය කර නිහඬ කිරීමේ සැලසුම් ඉටු කරගැනීමට රජය සමත්වනු ඇත. 
 
අවසානයේදී ගාමිණි වියන්ගොඩලා නතර වී ඇත්තේ රාජ්‍ය මර්දන යන්ත්‍රයේ විවෘත ඇණ මුරිච්චි බවට පත්වීමෙන් බව දැන් පැහැදිලිය. පසුගිය මැයි 17 වැනි දින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමකාමී පා ගමනට එල්ල කළ කෲර පොලිස් ප්‍රහාරය සයිටම් විරෝධය මර්දනයෙහි ලා වියන්ගොඩලාගේ ඊනියා යහපාලන රජය ඔවුන්ගේ ද තල්ලුව ඇතිව කොතෙක් දුර යාමට සුදානම්දැයි පෙන්වන දර්ශකයකි. සරසවි සිසුන්ගේ සාමකාමී පා ගමන තහනම් කිරීමට වියන්ගොඩලාගේ "කිර්තීමත්" අධිකරණය තීන්දු කළේ කිසිදු යුක්ති සහගත පදනමකින් තොරවයි. එම තීන්දුව රජයේ සයිටම් මාෆියාව විසින් කල් තබා සැලසුම් කර තිබූ අමානුෂික පොලිස් ප්‍රහාරයට අධිකරණයේ මුද්‍රාව ලබාගැනීමක් පමණක් විය. 
 
සරසවි සිසුවනි! නුඹලාගේ සාමකාමී පා ගමනට පන්නා පන්නා පහරදීමට පොලිසියට ලැයිසොන් දුන් ශ්‍රී ලංකාවේ මෙම 'කීර්තිමත්' අධිකරණයට එරෙහිව දැන් ඉතින් නුඹලා වචනයකුදු නොපැවසිය යුතුය. නුඹලා එසේ කළහොත් ටින් ටින් කතාවේ එන තොම්සන් සහ තොම්සන් රහස් පරීක්ෂකවරුන්ගේ චරිතයට බැරෑරුම්ව ඇඳ ඇති ගාමිණි වියන්ගොඩ සහ සරත් විජේසූරිය කොහේ හෝ සිට මතුව නුඹලා ගෙලින් ගෙන ඇදගෙන ගොස් නීතිය හමුවට පමුණුවනු ඇත. 
 
සයිටම් විරෝධීන්ට එරෙහිව වියන්ගොඩලාගේ ත්‍රාඩ නෛතික ත්‍රස්තවාදය සහ තවත් එවැනි සයිටම් කොමාන්ඩෝ වරයෙකු වූ බස්ගැමුණු විසින් සබරගමු සරසවි සිසුන්ට මැරයින් සමග එක්ව පහරදෙමින් ප්‍රදර්ශනය කළ ත්‍රස්තවාදය අතර කිසිදු වෙනසක් නැත. 
 
මේ අතර ශිෂ්‍ය පෙළපාළිය සහ ඊට එරෙහිව එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන සඳහන් කරමින් 18 වැනි දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ මෙවැනි විරෝධතා ආණ්ඩුවට නොව මහජනතාවට හානි සිදුවන බැවින් ඔවුන්ගේ ද ඉල්ලීම පරිදි උද්ඝෝෂණ වලට වෙඩි තබා හෝ මෙවැනි ඒවා නැවැත්විය යුතු බවයි. ශිෂ්‍ය පෙළපාළිවලට වෙඩි තැබිය යුතු යැයි මහජනයා ප්‍රකාශ කර ඇත්තේ කොතැනකදී ද? රතුපස්වලදී තමන් බොන ජලයට වස එක් නොකරන ලෙස ඉල්ලමින් පෙළපාළි ගිය ජනතාවට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ද මහින්ද අමරවීර පවසන ඔය කියන "මහජනයා"මද? මේ මහජනයා යනු වියන්ගොඩගේ සයිටම් ජපමාලය වැනි සයිටම්වාදී ප්‍රචාරක ව්‍යාපෘති තුළ අධ්‍යාපනය ලැබූවන් පිරිසක් ද? එසේ නොමැති නම් බස්ගැමුණුගේ සයිටම් කොමාන්ඩෝ තග් බලකායද? සරසවි සිසුන්ට වෙඩිතබන ලෙස ජනතාව විසින් ලෙස ඉල්ලා සිටින බව මහින්ද අමරවීර දැනගත්තේ කෙලෙසද? ඒ ඔහු පෙර අත්බවයන්හි පුරන ලද පාරමී ධර්මයන් හේතුවෙන් පසක් කළ සර්ව‍ඥතා ඥානයකින් ලද දැනුමක් ද? නැතහොත් ඔහු පෙළපාලි යන්නවුන්ට වෙඩි තැබීමට කැමැත්ත අකැමැත්ත විමසා ජනමත විචාරණයක් පවත්වා තිබේද? 
 
ඉතාම හාස්‍යයට කරුණ නම් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී අන්තරේ කැඳවුම්කරු විසින් දෙන ලදැයි කියන උත්තරයක් ඔසවාගෙන මේ දිනවල සරම ඔළුවේ පටලගෙන ඒ මේ අත දුවමින් කාලකණ්නි සතුටක් ලබන වියන්ගොඩලා රජයේ වගකිවයුතු ඇමැතිවරයෙකු සාමකාමී නිරායුධ මහජන පෙළපාළිවලට වෙඩිතැබීමට තර්ජනය කරමින් කරන මෙවැනි බරපතල ප්‍රකාශ ගැන පෙන්වන සවිඥානක නිහඬතාවයයි. 
 
ගාමිණි වියන්ගොඩ සිය සයිටම් ජපමාලයේ අමුණා ඇති සහ තවදුටරත් අමුණමින් ඇති ප්‍රචාරක ඇටබෝලවලට පිළිතුරු සැපයීමේ දී ඒ සියළු ඇටබෝල මුල සිට එකිනෙක පරීක්ෂා කරන්නට සිදුවීම අප්‍රසන්න අත්දැකීමකි. එසේ වුව ද එය දැන් තවදුරටත් මගහැරිය නොහැකි දෙයක් ලෙස සිතන්නට කරුණු සිදුවෙමින් පවතී. ඒ දැන් මේ සයිටම්වාදීන් සිසු ජීවිත මතින් හෝ සිය ව්‍යාපෘතිය පෙරට ගෙනයාමට සැරසෙන බැවිනි.
 
ඔහු සිය සයිටම් ප්‍රචාරක ව්‍යාපෘතියේ පළමු ලියැවිල්ල පටන් ගනුයේ මෙසේය.
 
"සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් (SAITM) යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන M යන්නෙන් කළමණාකරණය (Management) යන අරුත අදහස් කෙරී ඇති අතර පසුව එය 'වෛද්‍ය විද්‍යා' (Medical) යන්නට මාරු වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ මේ වචන දෙකම පටන් ගැනෙන්නේ M අක්ෂරයෙනි. මෙම අකුර මුලින් පෙනී සිටි වචනය මාරු කිරීම සයිටම් බලධාරීන් දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ" 
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)
 
SAITM සයිටම් ආයතනය පිහිටුවන අවස්ථාවේ එහි තිබූ නමේ M අකුරෙන් නියෝජනය වූ Management වෙනුවට පසුව එය Medical යනුවෙන් වෙනස් කිරීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් සාධක සහිතව ඔප්පු වී ඇති වංචාවකි. එහෙත් වියන්ගොඩ මේ අවසන් මොහොතේත් එම වංචාවේ බරපතල කම හෑල්ලු කිරීමට අනුකම්පා සහගත ප්‍රයත්නයක යෙදේ. ඒ සඳහා ඔහු සිය පරිණත ලේඛන කුසලතාවන් මනා ලෙස උපයෝගී කරගනිමින් මෙසේ පවසයි. ".....දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ." ඔහුට අනුව එය කූඨ ක්‍රියාවක් බවට නිගමනය කිරීමට තවමත් ඉක්මන් වැඩිය. එය කූඨ ක්‍රියාවක් බවට සෘජු ව නොපවසන යමෙකු, ඒ වෙනුවට එය කුඨ ක්‍රියාවක් වීමට ද "ඉඩ ඇති" බව පවසන්නේ නම් ඔහු විසින් ඉඟි කරන්නේ එය කූඨ ක්‍රියාවක් "නොවීමටද ඉඩ ඇති" බවයි. 
 
එතැනින් නොවතින වියන්ගොඩයෝ එය කූඨ ක්‍රියාවක් වන්නේ නම් එහි වරද පැටවීමට කිසියම් චුදිතයෙකු සොයාගැනීමේ හාස්‍යජනක ප්‍රයත්නයක නිරතවෙති.
 
"...මේ ආයතනය පිහිටුවන අවස්ථාවේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කෙරෙහි කිසි විරෝධයක්, වෛද්‍ය පීඨවලින්වත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්වත්, ශිෂ්‍ය ප්‍රජාව අතරින්වත් මතු නොවීම හේතු කොටගෙන, සයිටම් බලධාරීන්ට හිතුමතේ වැඩ කිරීමේ අවසරයක් සැපයෙන්ටත් ඇති. ඊට වගකිව යුත්තේ, සයිටම් බලධාරීන් නොව, එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනය යටතේ හීලෑ වී සිටි සහ එම පාලනයට ස්වේච්ඡාවෙන් අනුගතව සිටි වර්තමාන 'වීරයන්'ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි දී කැපී පෙනේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකාව, හිටපු ජනාධිපතිවරයා වරක් අරලියගහ මැදුරට කැඳවා ඔහුව වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන් පත්කරන අවස්ථාවේ, සයිටම් ආයතනය බලා කියා ගැනීම සඳහා ඔහුව එම තනතුරට පත්කරන බව පැහැදිළිව කියා සිටි බවට සාක්ෂි තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හෝ සයිටම් ආයතනය, ක්‍රම-විරෝධී අසාධාරණ සැකැස්මක් නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා එම මොහොතේම එය නොබියව කිව යුතුව තිබුණි. එහෙත් ඔහු කටක් ඇර ඒ ගැන කිසිවක් කියූ බවට සාක්ෂි නැත."
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)
 
සිදු කර ඇති වංචාවේ දුගඳ තවදුරටත් සැඟවිය නොහැකි ලෙස දසත පැතිරෙද්දි එම දුගඳ හමන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් බව පැහැදිලිව සියල්ලන් වටහාගෙන තිබියදී වියන්ගොඩයෝද සිය නැහැය හකුලාවමින් හිස දෙපසට වනමින් බැරෑරුම් ස්වරූපයක් ආරූඪ කරගත් මහදැනමුත්තෙකු මෙන් අපට මෙසේ පවසයි. 
 
"හැබෑව, ගඳ එන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් තමයි. හැබැයි මිනිහගේ අමුඩය ජරා කර ඇත්තේ මිනිහා නොවෙයි. මං හිතන විදියට ඕකට වගකියන්න ඕනේ වෛද්‍ය සංගමයේ හොර දොස්තරලයි, අන්තරේ මගෝඩි ශිෂ්‍යයෝ ටිකයි."
 
වියන්ගොඩට අනුව වැරදිකරුවන් වන්නේ එය පිහිටුවන අවස්ථාවේ එයට එරෙහි නොවූ ශිෂ්‍ය ප්‍රජාව, වෛද්‍ය පීඨ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි. ඔවුන් එයට එරෙහි නොවූ නිසා මෙම දඟකාර සයිටම් බබ්බු හිතුමතයේ වැඩකර නම වෙනස් කිරීමේ 'නෝටි' වැඩය කර තිබේ. සයිටම් නෙවිල්ට තම ගැලවුමට මේ තරම් විදග්ධ තර්ක ඉදිරිපත් කිරීමට වියන්ගොඩ තරම් වෙනත් පෙරකදොරුවෙකු කිසිවිටෙක හමු නොවනු ඇත.
 
වියන්ගොඩ මෙහිදී ගොඩ නැගීමට තැත් දරන තවත් තර්කයක් මෙසේය. 
 
කාලෝ ෆොන්සේකා හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී SAITM ගැන වචනයකින් හෝ විරෝධය පළ කළේ නැත.
ඒ ඔවුන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනයට හිලෑ වී සිටි නිසා නැතහොත් ස්වේච්ඡාවෙන් අනුගත වීම නිසාය.
මහින්ද රාජපක්ෂ, කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සංගමයේ සභාපති බවට පත් කළේ සයිටම් බලා ගැනීම ඔහුට පැවරීමටය.
SAITM ආයතනය ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නම් ඔවුන් එදා එම මොහොතේ නොබියව කිව යුතුව තිබුණි.
එහෙත් ඔවුන් ඒ බව එදා පවසා නැත.
එහෙයින් සයිටම් යනු ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නොවේ.
 
මේ වියන්ගොඩ සිය නිගමන කරා එළැඹෙන විද්‍යාත්මක තර්ක ක්‍රමයයි.
 
වියන්ගොඩගේම ප්‍රකාශය තුළ ඇති පරිදි එදා ඔවුන් විරුද්ධ නොවීමට බල පා ඇති කරුණු මෙසේය.
හීලෑවී සිටීම හෝ ස්වේච්ඡාවෙන් අනුගත වීම
ඔවුන්ගේ යකඩ පාලනයට වූ බිය
 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ කාලෝ ෆොන්සේකා එදා නිහඬව සිටියේ මහින්ද රාජපක්ෂ රජයෙන් ලද තනතුරු හෝ වෙනත් වරප්‍රසාද නිසා ස්වේච්ඡාවෙන් එම පාලනයට අනුගත වීම නිසා නම් (වියන්ගොඩම මෙහි ඉඟි කරන පරිදි) හෝ භීතිය නිසා නම් SAITM ආයතනයේ බිහිකිරීමේ හෝ එහි පැවැත්මේ සාධාරණ අසාධාරණ බව ඔවුන් කළ කී දෑ හෝ නොකළ නොකී දෑ අනුව කිසිවක් නිගමනය කළ හැක්කක් නොවේ. එහෙයින් කාලෝ ෆොන්සේකාගේ හෝ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ එදා ස්ථාවරයන් උදාහරණ ලෙස කැඳවමින් SAITM සාධාරණිකරණය කළහැකි නොවේ. අනෙක් අතට පුද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට එරෙහි ස්ථාවරයක් ගැනීමේ ඉතිහාසයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ද තිබේ. සමස්තයක් ලෙස එම ඉතිහාසය නොසළකා හැර කිසියම් නිශ්චිත මොහොතක් හුවා දැක්වීම සිය අභිමතය කෙසේ හෝ සාධනය පිණිස කරුණු විකෘති කිරීමකි.
 
...................අජිත් සී හේරත් .................................